Skip to main content

ඔබ එනකම් පාසිකුඩාව



(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්)

අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉඳහිට ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්වල ආලවන්තකම් මෝදු වෙච්ච හින්දා අන්තිමට කරකාර බින්නත් වුණා. ආයෙමත් පදියතලාව තියෙන්නෙ කොහේද කියලා හොයලා බලන්න උනන්දු නොවුණු ධනපාල අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් කාරයෙක් වෙලා සත පහ ගාණෙ අයිස් පලම් වික්කා.  

අදත් ධනපාල අයිස් පලම් විකුණනවා එකක් රුපියල් තිහ ගාණේ. වාලච්චේනෙන් එහා පාසිකුඩා වෙරළෙ. අප්‍රේල් විසි එක පාස්කු දවසෙ බෝම්බ පුපුරපු හින්දා මාස තුනක් විතර වෙරළ පාලුවට ගිහින් මිනිස්සු මරක්කලයින්ට වෛර කරද්දිත් ෆරීඩා සහ දරුවො එක්ක ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලපු ධනපාල තවමත් බලා ඉන්නවා පාසිකුඩා පණ ගැහෙනකං.

පාසිකුඩා නැගෙනහිර වෙරළෙ නිසල විල


ඇත්තටම පාසිකුඩා මුහුදට හා වෙලා තියෙන නිසංසල විලක් වගේ. යුද්ධ කාලෙ පාසිකුඩා ගියාම එක හුස්මට ගණින්න පුලුවන් තරමට අඩුවෙන් මිනිස්සු ගැවසුණේ. ඒ හැමෝම යුද්ධෙට බය නැති අය කියලා මට හිතුණෙ.  ඒත් යුද්ධෙ පහු වෙලා මිනිස්සු උතුරු නැගෙනහිර වට වන්දනාවේ යන්න ගත්තම පාසිකුඩා කියන්නෙ කලබල කූඹි ගුලක්. කල්කුඩා පාසිකුඩා කියන්නෙ නැගෙනහිර වෙරළට සොබාදහම දුන්න චමත්කාරජනකම දෑවැද්ද. කොළඹින් පොළොන්නරුව පහු කරලා යනවනම් පාසිකුඩාවලට යන්න අමාරු නැහැ. මඩකලපුව පැත්තෙන් ආවත් එහෙමයි. එරාවුර්වල පොල් රා තැබෑරුම් එහෙම පහු කරලා කිලෝමීටර් තිහක් විතර ආවම ඇති. ගස් හෙවණෙ වාහන නවත්තන්න පහසුකම් තියෙනවා. වැල්ලෙ මීටර් සීයක් විතර ඇවිදගෙන ගියාම කරිජ්ජ විල ඔබව පිළිගන්න බලාගෙන ඉන්නවා. හැබැයි මෙපිට තියෙන කිවුල් විලට බහින්න එපා කියලා අවවාද දීපු පුවරුත් තියෙනවා. ඒ කිඹුල් යාලුවො සිංදු කියන්න බලාගෙන ඉන්න නිසා. පොදු පහසුකම්වල අඩුපාඩු ගැන නෝක්කාඩු කියන පොලිස් ජීවිතාරක්ෂක ඇණියක් එහෙම හිටියට පාසිකුඩා කියන්නෙ ජීවිත උදුරගන්න තැනක් නෙවෙයි. දියඹට වෙන්න තියෙන කොරල්පර බාධක නිසා ඉන් මෙපිට මීටර් දෙසීයක විතර නිසල ජල තලයක් හැදිලා තියෙන හැටි හරිම පුදුමයි. එක රැල්ලක්වත් දකින්න නැති හින්දා පතුළ පෙනෙන දිය තලාවෙ කර වටක් වෙනකම් ඇවිදගෙන යන්න ආස හිතෙන කවුරුවත් නැති තරමයි. ඒකම කමයි පාසිකුඩා විශේෂත්වය. දහසක් මිනිස්සු පිටරට්ටුත් එක්ක සයුරු දිය නානවා. ජල තලය හැමෝගෙම සරතැස නිවනවා. ධනපාල වගේ ගොඩ දෙනෙක් වෙරළට වෙලා කීයක් හරි හොයාගන්න බලාගෙන ඉන්නවා. ඈතින් මාලු මාලු වගේ ලොකු හෝටල් උජාරුවට කර උස්සලා බලනවා. ඒත් ඇත්තටම වෙරළ අයිති පොඩි මිනිස්සුන්ට කියලා හිතෙන තරම් කූඹි ගුල කලබලයි. ඒත් පහුගිය මාස දෙක තුනක් තිස්සෙ ඒ කලබලය වේලිලා ගියා. පාස්කුවේ අමිහිරි මතක පාසිකුඩාවටත් නපුරුකම් කළා.

සෙන නැත්නම් බඩගින්න එන හැටි

පී. අයින්කරන් වඩේ, පැටිස්, මුරුක්කු කරත්තයක් තියාගෙන වෙළාම් කරන ඉලන්දාරියෙක්. මිනිහගෙ ගම කල්කුඩා. අවුරුදු අටක් තිස්සෙ වඩේ කරත්තෙත් එක්ක ජීවිතේ වාසනාව උරගාලා බලන්නෙ පාසිකුඩා වෙරළට ඇවිත්. “සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එන තැනක් මෙතැන. දවසට වාහන දෙතුන් සීයක් ආවා. සති අන්තෙට ඊටත් වඩා වැඩියි. ඉතිං ආදායම ගැන කතා කරන්න දෙයක් නැහැ. දවසට පන්දාහක් ලාභ තිබ්බ කිව්වොත් විශ්වාස කරනවද? දැන් නම් අන්තිමයි. බෝම්බෙන් පස්සෙ සති අන්තෙත් රුපියල් දාහක් හම්බ කරන්නෙ අමාරුවෙන්”  මේ වෙරළෙ තියෙන කඩ දාහතකින් එකක් මුස්ලිම් හතරක් සිංහල, අනික්වා දෙමළ. පාස්කු ඉරිදට පස්සෙ වහපු මුස්ලිම් කඩේ තවම ඇරිලා නැහැ. අයින්කරන් කියන්නෙ ඒ බයට කියලා. හැබැයි කවුරුවත් ඒ කඩේ අයිතිකාරයින්ට අරියාදු කළේ නෑ කියලයි අයින්කරන් කිව්වෙ. “එයාලා මුස්ලිම් තමයි. ඒත් වෙච්ච දේට මොනව කරන්නද? හැමෝම ඒ වැරැද්දට පලි නෑ. එන මිනිස්සුත් මුස්ලිම් අයගෙන් බඩු ගන්න පැකිලෙනවා කියලා මට හිතුණා. සිංහල දෙමළ හැමෝම. සමහරු මගේ වඩේ කරත්තෙ වටේත් රවුමක් ගහලා අහනවා ඔයා මුස්ලිම්ද? කියලා” අයින්කරන් කතා කරන්නෙ විස්සෝපෙන්. ඔහු කියන්නෙ වෙනස්කම් කෙරුවා හොටම ඇති කියලා.
වාලච්චේනෙ ඉලා රස්සාවට එන නුලනුත් වෙනස්කම්වලින් හති වැටිච්ච කෙනෙක්. කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවෙන් බදු ගත්ත ටෙන්ඩරයකට අනුව වාහන ගාලට ටිකට් කඩන එක නුලන්ගෙ රස්සාව. ඒත් දැන් වාහන එන්නෙ නැති නිසා හරි හමං ආදායමක් නෑ. සුද්දො එන්නෙ බොහෝම අඩුවෙන් හින්දා වාසි හම්බවෙන්නෙත් නෑ.

ඔය අතරෙ කාටහරි ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් නලාවක් විකුණලා ජීවත්වෙන්න මහන්සි ගන්න අම්මලාත් වෙරළෙ කඩ පෙට්ටියක් හදාගෙන ඉන්නවා. එක්කෙනෙක් මඩකලපුවෙ සියෝන් පල්ලියට යන බැතිමතියක්. එයා පාස්කු දවසෙ පල්ලි යන්නෙ නැතිව පාසිකුඩා ඇවිත් බිස්නස් කරපු හින්දා බෝම්බෙන් බේරෙන්න ඇති කියලා කිව්වෙ. එයාගෙ කඩේට අල්ලපු කඩේ තමයි මුස්ලිම් මනුස්සයෙකුට අයිති. තමන්ගෙ නෑ සනුහරේ පුංචි එවුන් පවා සියෝන් බෝම්බෙන් මැරුණම ඒ කඩේ කඩන්න තරම් වෛරයක් ඇති වුණු නමින් ප්‍රදීපන් කුමුදා වුණු මේ ගැහැණිය දැන් නිවිලා. අන්තිමට කෙිරිලි හින් කියන්නෙ උන් මොනව කරන්නද කියලා.

ඇවිත් යන්න එනව නේද?

මාතලේ අලුවිහාරෙ පැත්තෙ ඉස්කෝලෙක පුංචි එවුන් රංචුවකුයි. කොහේදෝ පිරිවෙණක සාමනේර හිමිවරු පිරිසකුයි ඒ හැන්දෑවෙ පාසිකුඩා ඇවිල්ලා හිටියා. අනකඩ දවටගත්ත හිමිවරු නිසල දියට වඩිද්දි ඡායාරූපයක් ගන්න තිබ්බනම් ඒක හරිම අපූරු වෙන්න ඉඩ තිබ්බා. ඒත් වෙරළින් මීටර් සීයක් විතර ඔබ්බෙ කරවටක් බැහැලා හිටපු වතුරෙන් ගොඩ එන්න කැමරා වාහනවල තියලා ආපු කාටවත් උනන්දුවක් ඇති වුණේ නැහැ. ඒ තමයි පාසිකුඩා මිනිස්සු මෝහනය කරගන්න හැටි. වෙරළට ඇවිදගෙන එන්න හදලා තියෙන කොන්ක්‍රීට් කට්ටය පටන් ගන්න තැන තියෙන කඩය යුධ හමුදාවෙන් දමාපු එකක්. ඒකෙ බඩු විකුණන්නෙ සිවිල් ඇුමෙන් සැරසුණු සොල්දාදුවෙක්. වතුර බෝතලයක් ගත්ත හාජියාර් කෙනෙක් ඈතට යනකම් ඉලා එයා කියනවා දැන් නම් ටික ටික හරියනවා වගේ කියලා. “පාසිකුඩා ලස්සන බලලා විනෝද වෙන්න වැඩිපුරම ආවෙ මුස්ලිම් මිනිස්සු. එයාලට යන්න ළපාත වෙන නිදහස් තැනක් තිබ්බෙත් නැහැ. ඒ හින්දා නිවාඩු දවස්වල පවුල් පිටින් ඇවිල්ලා උයාගෙන කාලා විනෝද වුණා. දැන් ඒ මිනිස්සු නැතිව වෙරළ පාලුයි. ආපහු හැමෝම එනවනම් හොයි. ඒ ප්‍රශ්නය ඉවරයිනෙ” සොල්දාදුවෙකුගෙ මනුස්ස හිත එහෙම ඇරුණා.
ඇත්තටම ඒ සොල්දාදුවා විතරක් නෙවෙයි යම්තම් නම ලියන්න විතරක් ඉගෙනගත්ත අන්තිමට ඉරණම මරක්කල පවුලක නෑයෙක් කරපු ධනපාල පවා බලාගෙන ඉන්නෙ පාසිකුඩා වෙරළට මිනිස්සු එනකම්. මේ හැමෝම නොකියා කියන කතාවක් තියෙනවා. කිසිම වෙරළක් මිනිස්සු නැතිව ජීවත් වෙන්නෙ නෑ කියන කතාව තමයි ඒ.
මේ හැමදෙයක් ගැනම බරපතල කල්පනාවක නිමග්න වෙලා හිටියට මාත් පැය දෙක තුනක්වත් ඒ නොගැඹුරු දියේ හෑල්ලු වෙන්න ඇති. එතැන තිබ්බ තවත් අමුත්තක් තමයි තැනක සීතල දියවැල් තියෙද්දි ටිකක් එපිටින් උණුහුම් දියවැල් තිබ්බ හැටි. මට නම් වුවමනා වුණේම කරවටක් දියේ ගිලිලා නිවෙන්න. ප්‍රගුණ කරපු කෙනෙකුට සිරුර මුහුදු වතුරෙ පා කරන්න පුලුවන් බවත් මං දැක්කා. බීර පෙණ වගේ ගත වටේ දැවටෙන මුහුදු වතුර පෙණ මැද්දෙන් ඇවිදගෙන ඇවිල්ලා මිරිදිය ඩිංගක් නාගන්න පුලුවන් රුපියල් හතළිහකට. ඩිංගක් කිවුවට හිතේ හැටියට. අයින්කරන්ගෙ උණු වඩයක් කාලා ප්ලේන්ටියකුත් බිව්වම හැමදේම අලුත් වුණා වගේ දැනෙනවා. එහෙනම් සූදානම් වෙන්න පාසිකුඩා වෙරළ ඔබ එනතුරු බලාගෙන ඉන්නවා.

ලසන්ත ද සිල්වා


Comments

Popular posts from this blog

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.  මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුම

ලූලා ගනිල්ලා වලපත තබාලා

අපි ඉතිං ගම්වල මිනිස්සු වෙච්චි කොට කවුරුහරි කන්ඩ බොන්ඩ දීලා තිබ්බොත් ආයෙ ඒකෙ නම්බුව අමතක කරන්ඩ හිතන්නෙ නෑ ඕං මළගම් යන දොහ වෙනකම්ම සිහියක් පතක් ඇතුං ඉන්නවා නම්. උහ මිටි මොන මට්ටමෙත් මනුස්සයො ආස්සරය කරන්ඩ යාලුකම් පවත්තන්ඩ පුලුවන් වෙච්ච හින්දම මට යාලු මාලු කාරයෙක් ඉන්නවා හ ඳ පානාගලින්, ලුණුගම්වෙහෙරෙන් නැත්තං වෙහෙරගලින් වැව් මාලු ඇන්න ඇවිත් පාර අද්දර තියාගෙන විකුණන. තෙලියෙක්, පෙතියෙක්, ගොඩයෙක් නෙමෙයි වැලිගොව්වෙක්, ලූලෙක්, වලපොත්තෙක් එහෙම පෙට්ටියෙ බුදියගෙන හිටියොත් සල්ලි පස්සෙ දුන්නත් කමක් නෑ මේකට පදමට ලුණු මිරිස් දාලා සළකන්ඩ කියලා ඔතලා දෙනවා. ලූලා දෙන්නෙම ඇ ඟ ලේ වඩනවා කියලනෙ. මං බොහෝම පුංචි සාවියෙ හ ඳ පානාගල වැවේ මාලු බණ්ඩාරවෙල පොළට ගෙනාපු මනුස්සයෙක් හිටියා දයාරත්න මාමා කියලා. උන්දැයි අපේ තාත්තයි ගජ යාලුවො. එක අතකට එව්ව බෝතල් යාලුකම් වුණාට ඒකෙන් කිසිම අසානාසියක් වුණේ නෑ. රා අරක්කු බිව්වට උන්දැලා මනුස්සකම්වලට ආලවන්තකම් පෑවා. ඉතිං මෙවුන්දැත් ලූල් පතයෙක් හෙම බයිසිකල් පෙට්ටියේ හිටියොත් ඇරං පලයං පුතා කියලා දෙන පුරුද්දක් තිබ්බා. පස්සෙ කාලෙක ලූල් වරල් කතුරෙන් කපාලා අමුතු පහේ ආලවට්ටම් දාන මනු